Wednesday, March 20, 2013

"Why Worry" book launch in Parliament 2013.03.20

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමගම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව බුදු දහම ලෝ පුරා ප්‍රචලිත කිරීමට හැකි වීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ලබන ජයග්‍රහණයක් යැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර, එමගින් විදේශිකයන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය වර්ධනය කිරීම සඳහා බුදු දහමෙන් ඉගැන්වීම් රැසක් ලබාගත හැක. ඒ සඳහා සිය අමාත්‍යාංශයේ දිගින් දිගටම කටයුතු කරන බව අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය. අපවත් වී වදාළ ආචාර්ය කිරිල්ලේ ශ්‍රී ධම්මානන්ද හිමිපාණන් වහන්සේ රචිත "Why Worry" ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ හෝටල් අතර බෙදාදීම නිමිත්තෙන් අද (20) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සංකල්පයක් මත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මැලේසියාවේ, ශ්‍රී ධර්මානන්ද පදනම මගින් "Why Worry" ග්‍රන්ථයේ පිටපත් පහළොස් දහසක් මෙරට සියලුම සංචාරක හෝටල් සඳහා ලබාදීමට කටයුතු යොදා ඇත. එම ග්‍රන්ථය හෝටල් වෙත පිරිනැමීම අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.

ඒ නිමිත්තෙන් පැවැති උත්සවයේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා මෙසේද ප්‍රකාශ කළේය.

ලෝක සංචාරයේ නිරත වීමේ දී හෝටල් රැසක බයිබලය තිබෙනු මම දැක තිබෙනවා.  චීනයේ හෝටල් වල බයිබලය මෙන්ම, කෘෂිකර්මික අත්පොත් ද පරිශීලනය සඳහා තැන්පත් කර තිබෙනවා.  නමුත්, බුදු දහම විදේශිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා පෞද්ගලික අංශය පොත් පත් ප්‍රදර්ශනය කර තිබෙන බවක් දක්නට නැහැ. නමුත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගින් සර්වකාලීන දර්ශනයක් වන බුදු දහම සමස්ත ලෝකයාටම ප්‍රචාරය කළ හැකියි. 

අපවත් වී වදාළ ආචාර්ය පූජ්‍ය කිරිල්ලේ ශ්‍රී ධර්මානන්ද ස්වාමීන් වහන්සේ රචනා කළ මෙම ග්‍රන්ථයෙහි කරුණු සිංහල බෞද්ධයන්ට පමණක් නොව, සමස්ත ලෝකයාටම අදාළ කර ගත හැකියි.  තියුණු රටවලට මෙන්ම, තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා ද මෙම ග්‍රන්ථයේ කරුණු අදාළ කර ගත හැකියි. 

ලෝකයේ මිනිසුන් ජාති, ආගම් වශයෙන් බෙදී ගැටුම් මතු කර ගත්තද, අප සියල්ලෝම මනුෂ්‍යයෝ වන බව බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ නැහැ.  නමුත්, මෙවැනි ග්‍රන්ථ මගින් උගත් නූගත් භේදයෙන් තොරව සමස්ත ජනයාටම අර්ථවත් ජීවිතයකට අදාළව නිර්නායකයන් ලබාගත හැකියි.



1
ග්‍රන්ථයක වැදගත්කම තිබෙන්නේ බුද්ධියටයි.  බුද්ධිමත්ව ජීවත් වීමට නම් උගත්කම අවශ්‍යයි.  උගත්කම ජීවන මාර්ගයක් බවට පත්කර ගත හැකියි.  නමුත්, ඒ සියල්ලන්ටම වඩා වැදගත් වන්නේ මනුෂ්‍යත්වයයි.  එය අතිශය ශ්‍රේෂ්ඨ සංකල්පයක් වනවා.  මෙම ග්‍රන්ථය මගින් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් සමාජයක නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු රැසක් පෙන්වා දී තිබෙනවා. 

ග්‍රන්ථ කුමන ආකාරයකින් රචනා කළද එය කියවීමට පුද්ගලයන් නොමැති නම් කිසිඳු ඵලක් වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් මෙන්ම, වැඩිහිටියන් අතර කියවීමේ ප්‍රතිශතය බෙහෙවින් පහත බැස තිබෙනවා.  විශ්ව විද්‍යාල සිසුන් ද කියවීමෙන් දුරස් වී සිටින බව අද දක්නට ලැබෙනවා.  ග්‍රන්ථ බිහිවන අයුරින්ම විශිෂ්ඨ සමාජයක් නිර්මාණය කිරීමට නම්, පාඨකයන්ගෙන් සමන්විත සමාජයක් නිර්මාණය කිරීම අතීශය වැදගත් වන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට සහභාගි වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මැතිතුමා අදහස් දක්වමින්,  ලංකාවේ සංචාරක කර්මාන්තය ව්‍යාප්ත කිරීම සඳහා ස්වභාව දහමෙන් ලැබෙන පිටිවහල මෙන්ම, බුදු දහම මගින් විශාල පන්නරයක් ලබාගත හැකි යැයි පැවසීය. සංචාරකයන් විවිධ අවස්ථා වලදී හුදකලාව ජීවත් වන අවස්ථාවක, මෙවැනි ග්‍රන්ථ මගින් හෙළ බුදු දහමේ සාරධර්ම ඉගෙනීමට අවස්ථාව ලබාදිය යුතුයි.  සංචාරකයන් සෑම අවස්ථාවකම සංචාරයෙහි නිරත වන්නේ නැහැ. ඔවුන් හෝටල් කාමරවල සිටින අවස්ථාවලදී මෙම ග්‍රන්ථය කියවීමට අවස්ථාව ලබාදී බුදු දහමේ සැබෑ හරය ඔවුන්ට අවබෝධ කරදීම සඳහා මෙම ග්‍රන්ථය මහෝපකාරී වන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"Why Worry" බෞද්ධ ග්‍රන්ථය සංචාරක හෝටල් අතර බෙදාදීමේ උත්සවය සඳහා අපවත් වී වදාළ පූජ්‍ය කිරිල්ලේ ශ්‍රී ධර්මානන්ද හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය නමක වන, පූජ්‍ය කොටවිල සිරිධම්ම හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මැතිතුමා, අග්‍රාමාත්‍ය ලේකම්, එස්. අමරසේකර මහතා, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, එම්.කේ.බී. දිසානායක මහතා, මහාභාරකාර, සරත් සෙනෙවිරත්න මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති, භාශ්වර සේනාංක ගුණරත්න මහතා, ලංකා හෝටල් සංගමයේ සභාපති, එම්. ශාන්ති කුමාර් මහතා, ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති, ජේ. කෙහෙල්පන්නල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.




No comments:

Post a Comment