Tuesday, March 12, 2013

Police I.G. visit Prime minister 2013.01.02

රුපියල් මිලියන තුන්සීයක තාක්ෂණික හා ආරක්ෂක උපකරණ ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වෙයි. දෙරට අතර මේ සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කොට ඇති බවත්, මේ යටතේ හෙලිකොප්ටර්  හතරක් සහ තවත් උපකරණ රැසක් මෙම වර්ෂයේ දී ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ රුසියානු නව තානාපති, ඇලෙක්සැන්ඩර් ඒ. කර්චාවා මහතා (Alexsender A. Karchava), අද (20) පෙරවරුවේ "විසුම්පාය" අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවූ අවස්ථාවේ දී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීම සඳහා රුසියාව කැපවී කටයුතු කරන අතර, ආසියාවේ ආශ්චර්යය ලෙස ඉදිරියට යන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවද තානාපතිවරයා පැවසීය.

බටහිර රටවලින් එල්ල වන බලපෑම් සමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී මැදිහත්කරුවකු වශයෙන් තම රට ක්‍රියා කරයි. මානව හිමිකම් කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය මේ මොහොතේ රුසියාවට නොමැති වුවද, ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන සෑම යෝජනාවක්ම පරාජය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.  

චීනය, රුසියාව සහ කියුබාවට මෙවර මානව හිමිකම් කොමිසමේ නිත්‍ය සාමාජිකත්වය නොමැති අතර, රුසියාව ලබන වර්ෂයේ එය ලබා ගැනීමට අයඳුම්පතක් ඉදිරිපත් කොට ඇත.  මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි බටහිර රටවල් ශ්‍රී ලංකාවට චෝදනා කිරීම සම්බන්ධයෙන් තමන් නිරතුරුව මෙරට දේශපාලන අධිකාරිය සමග සාකච්ඡා කරන බවත්, විදේශ කටයුතු අමාත්‍යවරයා හා මානව හිමිකම් පිළිබඳ ජනාධිපති නිත්‍ය නියෝජිතවරයා සමග ද අදහස් හුවමාරු කර ගන්නා බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය. එම සාකච්ඡා අතීශයින් සාර්ථක වී තිබේ.  මාගේ කොළඹ සිටින එම දේශපාලන කුළුපග මිතුරන් සමග එක්ව ශ්‍රී ලංකාව අසීරුතාවයට ලක්කිරීම සඳහා ගන්නා සියලු උත්සාහයන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඇලෙක්සැන්ඩර් ඒ. කර්චාවා මහතා පැවසීය. 

ශ්‍රී ලංකාව තිස් වසරක යුද්ධයකින් පසු වසර තුනකින් බිම් බෝම්බ ඉවත් කිරීම මුළුමනින්ම සිදුකොට තිබේ.  උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය වේගවත් කිරීමට එය ඉවහල් වී තිබේ.  එහෙත්, යුද්ධය අවසන් වී වසර තිහකට පසුවත්, කාම්බෝජයට මුළුමණින්ම බිම්බෝම්බ ඉවත් කිරීමට හැකියාවක් ලැබුණේ නැති බවත්, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත් තානාපතිවරයා පැවසීය.  ශ්‍රී ලංකාව හා රුසියාව ඈත අතීතයේ පටන් සහයෝගයෙන් හා මිත්‍රශීලීව කටයුතු කරන රටවල් දෙකක් බව කී තානාපතිවරයා, එම මිත්‍රත්වයේ ප්‍රතිඵල දෙරටටම ලැබී ඇති බවත් සඳහන් කළේය. 


මෙහිදී අග්‍රාමාත්‍යතුමා කියා සිටියේ, ශ්‍රී ලංකාව, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු සමයේ දී සෝවියට් දේශය හා රුසියාව සමග ඉතාම සමීපයෙන් ක්‍රියා කළ බවයි.  මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා රුසියාවේ ආධාර 1970 ආණ්ඩු පාලන සමයේ දී ලැබිණ.  සම්භාණ්ඩ, වානේ, කෘෂිකර්මාන්තය ආදී සියලු ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට සෝවියට් දේශයේ සහාය ලැබුණු බවත්, ඉන් ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත් බවත් සඳහන් කළේය.  ශ්‍රී ලංකාව මේ මොහොතේ දී සංචාරකයන්ගේ පාරාදීසයක් වී ඇති බව ලෝකප්‍රකට සඟරා කිහිපයක් සහ විදේශ සංචාරකයන් ගෙන්වන ආයතන ප්‍රකාශයට පත්කර ඇති බව කී අග්‍රාමාත්‍යතුමා, රුසියානු සංචාරකයින්ගේ අවධානය ද ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.  අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කොට උතුරු - නැගෙනහිර ඇතුළු රටේ සියලු ජනතාවගේ ආර්ථික සමෘද්ධිය උදා කිරීමට ක්‍රියා කරයි.  මේ අවස්ථාවේ දී ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී කලබල හේතුවෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.  නිවාස, ජලය, ආහාර මෙන්ම ඔවුන්ගේ දේශපාලන අයිතීන් ද සාක්ෂාත් කොට ඇත.  ජනාධිපතිතුමා මහින්ද චින්තනයට අනුකූලව, සියලු ජාතීන්ට සමානව සලකයි.  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද සහතික කොට තිබේ.  සියලු ආගම් ඇදහීමේ නිදහස ද මෙරට තිබේ.  ජනාධිපතිතුමා ජාතීන් අතර සහයෝගීතාව ඉහළ නැංවීමට වාර්ෂිකව අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ද වශයෙන් තමා හොඳාකාරවම දන්නා බව අග්‍රාමාත්‍යතුමා රුසියානු නව තානාපතිවරයා හමුවේ කියා සිටියේය.  

මේ අවස්ථාවේ දී රුසියානු තානාපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, ඒ අනුව දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක සුවිශල් හෝටල් නමයක් ඉඳිකරන බවත් පැවසීය. එසේම, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ   තිබේ.  ගුවන්තොටුපල, වරාය මෙන්ම ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය, ආගන්තුක සත්කාරය, කිමිඳුන් හා  මුහුදු ජලය මත ලිස්සායාමේ තරග පැවැත්වීමට ශ්‍රී ලංකාව ආකර්ශනීය ස්ථානයකි.  එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ඉඳිකිරීම් කර්මාන්තය සඳහා යොමු කිරීමට ද රුසියාව අ‍පේක්ෂා කරන බව කියා සිටියේය.

තමා 1957 වර්ෂයේ දී  දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමට රුසියාවට ‍ගොස් ඇති බවත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සමග එම සංචාරයේ නිරත වූ බවද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය. තුන්වන ලෝකයේ රටවල් දියුණු කිරීම සදහා සෝවියට දේශය එකල කැපවීමෙන් කටයුතු කළේය.  ලොව බලතුන් අතර සමබරතාව ඇති කිරීම සදහා ද රුසියාව ක්‍රියා කළේය.  යළි එම ජාත්‍යන්තර බලතුලනය ඇති කිරීම සදහා රුසියාව ඉදිරිපත් විය යුතු බවද අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේ දී සදහන් කළේය.  දියුණුවන රටවලට එය මහත් ආශිර්වාදයකි. 



ශ්‍රී ලංකාවේ තේ රුසියාවට වැඩි වශයෙන් අපනයනය කිරීමට අවස්ථාව සලසන මෙන් රුසියානු තානාපතිවරයාගෙන් අග්‍රාමාත්‍යතුමා ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ දී මුහුණදුන් ගැටළුවලට රුසියාව දැක්වූ සහායට ප්‍රශංසාව පළකළ අග්‍රාමාත්‍යතුමා, රුසියානු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ එරට ජනතාවට තම කෘතඥතාව පළකරන බවද සදහන් කළේය.

මේ අවස්ථාවට විදේශ අමාත්‍යාංශයේ නිලධාරීහූ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීහූ ද එක්වූහ.
2013 පෙබරවාරි මස 20 වන දින.

No comments:

Post a Comment