Tuesday, March 12, 2013

Mr. D.F. Kariyakarawana's latest Book launched And his 91 Birth day 2013.02.08


වේදිකා නාට්‍යකරුවන්ට මෙන්ම, ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් උදෙසා රජයේ අනුග්‍රහයෙන් දීමනාවක් ලබාදීමට ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට දීමනාවක් ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව පවතී.  මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් වේදිකා නාට්‍යකරුවන්ට හා විවිධ කලා ක්ෂේත්‍රවල උන්නතිය උදෙසා සේවය කළ ජ්‍යෙෂ්ඨ කලාශිල්පීන්ට මෙම ප්‍රතිපාදනය ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ප්‍රකාශ කළේය.

ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදී, ඩී.එෆ්. කාරියකරවන මහතාගේ අනූ එක්වන ජන්ම දින සැමරුම සහ එතුමා රචනා කළ "ලෝ පුරා චාරිකා" ග්‍රන්ථය දොරට වැඩුම නිමිත්තෙන් අද (08) තලවතුගොඩ, හෝකන්දර පිහිටි එතුමාගේ නිවසේ පැවැති කෙටි සුහද හමුවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය. 

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා, පුද්ගලයකුගේ සේවය කිසිසේත්ම විශ්‍රාම යාමකට ලක් කළ නොහැකි බවත්, ජීවිත කාලය පුරාම සේවය කිරීමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළේය.  ඩී.එෆ්. කාරියකරවන මහතා සිය ජීවිත කාලය තුළ ලද අත්දැකීම් සමුදාය අන් අයට බෙදාදීමෙන් ඔහුගේ ජීවන චරිතය මනාව පිළිබිඹු වන බව අග්‍රාමාත්‍යතුමා පැවසුවේය. 

"මෙවැනි පුද්ගලයන් මහ‍ පොළව මත ඇති නිධානයක් මෙනි.  එම නිධානයෙන් නිසි ප්‍රයෝජන ගැනීම අප සතු යුතුකමකි.  තමා ලද අත්දැකීම්, තමා සතු ඥානය අන් අයට ප්‍රයෝජනවත් වන අයුරින් බෙදාහැරීමයි, උතුම් පුද්ගලයකුගේ ලක්ෂණය වන්නේ.  එය ලොවට ආදර්ශයකි.  ඇතැම් පුද්ගලයන් හැට වන විය තෙක් රැකියාවක් කොට ඉන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව, නව නිර්මාණ වලට යොමු වූ අවස්ථා බහුලව දැකිය හැකියි." 

"ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් නිරතුරුවම අප අන් අයට ආදර්ශයක් විය යුතුයි.  ආදර්ශවත් පුද්ගලයාගෙන් සමාජයට වාසිදායක තත්ත්වයන් රැසක් අත්කර ගත හැකියි.  ඩී.එෆ්. කාරියකරවන මැතිතුමා, ආදර්ශවත් චරිතයකින් හෙබි බහුශ්‍රැත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්.  එතුමා කළ සේවයට කළගුණ සැලකීම අපගේ යුතුකමක්."


"බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව කෘතගුණ දැක්වීමේ යුතුකම මුලින්ම ඉෂ්ඨ කළා." 

ජනතාව වෙනුවෙනුත්, රජය වෙනුවෙනුත් මම මෙහිලා ඩී.එෆ්. කාරියකරවන මැතිතුමාට කෘතවේදී වනවා යැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ග්‍රන්ථය දොරට වැඩුම නිමිත්තෙන් පැවැති කෙටි හමුවේ දී අදහස් පළ කළ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන මැතිතුමා, මෙවැනි උත්සවයක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයට සිය කෘතවේදීත්වය පළ කරන බව පැවසීය.  තමා ලද අත්දැකීම් සමුදාය තවදුරටත් යහන මත හෝ රැදී සිටිමින් පාඨක සමාජය වෙත ලබාදීමට උත්සුක වන බවද ඒ මහතා සඳහන් කළේය. 

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ නිලධාරීහූ ඇතුළු මාධ්‍යවේදී නියෝජිතයෝ සහ ඩී.එෆ්. කාරියකරවන මහතාගේ පවුලේ ඥාතීහූ ඇතුළු පිරිසක් සහභාගිව සිටියහ.

2013 පෙබරවාරි මස 08 වන දින.

No comments:

Post a Comment