Friday, March 15, 2013

Ambassador of the United Arab Emirates H.E.Mr.Abdulhamid A.K. Al- Mulla Visit Hon. Prime minister 2013.03.15



ලෝක ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අරාබිකරයේ රටවලින් ඉහළ දායකත්වයක් ලැබෙන බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා පවසයි.  ලෝකයේ මුස්ලිම්වරු බිලියන 30.8 ක ප්‍රමාණයක් ජීවත්වන අතර, ඔවුන්ගේ බහුතරයක් ජීවත්වනුයේ තෙල් සම්පත බහුල අරාබි රටවලය. එබැවින්, තෙල් සම්පත ආරක්ෂා කර ගැනීම සහ නිසිපරිදි කළමනාකරණය කොට ලෝක ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අරාබි රටවල රාජ්‍ය නායකයින් කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා කියා සිටියේය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අබ්දුල්හමීඩ් ඒ.කේ.අල්-මුල්ලා ((H.E.Mr.Abdulhamid A.K. Al-Mulla) මහතා ඊයේ (14)  පස්වරුවේ විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා හමුවූ අවස්ථාවේ දී, අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය. 

එහිදී තානාපතිවරයා වෙත අදහස් දක්වමින් සිරියාව, ඉරානය, ඉරාකය සහ ඊජිප්තුව යන රටවලට බාහිරින් ඇතිවන බලපෑම් දේශපාලනික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වී ඇතැයි පැවසූ අග්‍රාමාත්‍යතුමා, මේ සඳහා ඇතැම් බටහිර රටවල් වගකිව යුතු බව ද කියා සිටියේය.  මේ හේතුවෙන්, එම රටවල සිවිල් ආරක්ෂාව සහ ස්වාධීපත්‍යයද උල්ලංඝණය වී තිබේ.

එනමුත් මේ පිළිබද බො‍හෝ පාර්ශව අවධාරණය යොමුකර නැතැයි කී අග්‍රාමාත්‍යතුමා ඛනිජ තෙල් සම්පත බහුල රටවල් අතර, ප්‍රමුඛස්ථානයක් හිමිකර ගත් රටක් වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සැලකිය හැකියැයි ප්‍රකාශ කළේය.  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික වර්ධනය ලෝක ආර්ථිකයට ඉහළ දායකත්වයක් සපයයි.  1940 දශකයේ දී ලොකු කුඩා රටවල් එක්කිරීමට  අරාබි නායකයන් ගත් උත්සාහය සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, එමගින් ලෝක සාමය ආරක්ෂා කිරීමට එම රටවලින් සුවිශේෂ දායකත්වයක් ලැබුණු බව ද සදහන් කළේය.
 
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශීය ආර්ථික සංවර්ධන ක්‍රමෝපායක් දියත් කර ඇති මේ මොහොතේ, එම කර්තව්‍ය සාර්ථක කර ගැනීම උදෙසා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු මැද පෙරදිග සහ අරාබිකරයේ රටවලින් ලැබෙන සහයෝගය ගෞරවනීය ලෙස සිහිපත් කරන බව ද, අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා තානාපතිවරයා සමග පැවසීය.

මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා සමග අදහස් දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අබ්දුල්හමීඩ් ඒ.කේ.අල්-මුල්ලා මහතා, ලොව සම්පත් බහුල අප්‍රිකා මහද්වීපයේ රටවල් තවමත් දරිද්‍රතා මට්ටමේ ගිලී පවතින බවත්, එම සම්පත් නිසිපරිදි කළමනාකරණය කිරීම තුළින් ලෝක ආර්ථික සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබාදී රටට සීඝ්‍රයෙන් දියුණුවීමේ හැකියාවක් පවතින බවත් පැවසීය. 


ශ්‍රී ලංකාව සොබා සෞන්දර්යයෙන් අනූන රටක් වන බව කී තානාපතිතුමා මෙරටට පැමිණ ගත වූ සය මසක කාලයේ දී ශ්‍රී ලාංකික හදගැස්ම මනාව හදුනාගත් බව සදහන් කළේය.  ශ්‍රී ලංකා ආණ්ඩුව මෙරට ආර්ථික මට්ටම ඉහළ නැංවීම සදහා සුවිශාල කැපකිරීමක් සිදු කරමින් සිටී.  මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ විවෘත කරන අවස්ථාවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් යානයක් එහි ගොඩබැස්සවීමට ක්‍රියා කිරීම මගින් තම රට සහ ශ්‍රී ලංකාව අතර සුහදතාව තවදුරටත් වර්ධනය වන බව තානාපතිතුමා කියා සිටියේය.  එක්සත් අරාබි එමීර් රාජ්‍ය හරහා ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් වැටී තිබේ.   ඒ අතරින් ශ්‍රී ලංකාව සහ සිය රට අතර ගුවන් ගමන් වාර ගණනාවක් සිදුවන බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දායකත්වය ලබා දෙන බව, තානාපති අබ්දුල්හමීඩ් ඒ.කේ.අල්-මුල්ලා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2013 මාර්තු මස 15 වන දින.

No comments:

Post a Comment