Tuesday, April 9, 2013

National Wesak day will be held May 25th in Monaragala Buththala Udaganawa Purana Raja maha Viharaya (Sinhala News) 2013.04.08



රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට පැවැත්වීමට තීරණය කෙරේ.  

ඒ අනුව, පනස් හත්වන (57) රාජ්‍ය වෙසක් උත්සවය, මැයි මස 25 දින මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල යුදගනාව පුරාණ රජමහා විහාරස්ථ පරිශ්‍රයේ දී සිදු කෙරේ. අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ මෙහෙයවීමෙන් මෙම රාජ්‍ය උත්සවය සිදු කිරීමට නියමිතය.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක සංවිධානයෙන් මෙම ජාතික උත්සවය පැවැත්වේ. 

පනස් හත්වන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ උපදෙස් මත අද (09) උදේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මැයි මස 24 වන දින පාසල් ළමුන් දහසක් සහ වැඩිහිටියන් දෙදහසක් යුදගනාව රජමහා විහාරස්ථානයේ දී සීල සමාදාන වැඩසටහනට එක්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.  සීල ව්‍යාපාරය සඳහා සම්බන්ධ වන සැදැහැවතුන් වෙනුවෙන් අවශ්‍ය දානය, ජලය, සනීපාරක්ෂක ආදී සියලු පහසුකම් ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු සම්පාදනය කොට තිබේ.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල අතර පැවැත්වූ බැති ගී ගායනා වැඩසටහනින් ජයග්‍රහණය ලැබූ දරු දැරියන්ට මූල්‍යමය ත්‍යාගයන් ද මෙහිදී ලබාදෙයි.  වෙසක් පහන් කූඩු තරගාවලියෙන් ජය ලැබූවන්ට ත්‍යාග පිරිනැමීමට තීරණය කොට ඇතැයි අද පැවැති සාකච්ඡාවේ දී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුත්තල, යුදගනාව රජමහා විහාරස්ථානයේ අංගසම්පූර්ණ පුස්තකාලයක් ඉඳිකිරිම, "සසුනින් සෙවණ" ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක බැගින් නිවාස එකොළහක් ඉඳිකිරීම, දිස්ත්‍රික් සිසු නිපුණතා තරගාවලියෙන් ප්‍රථම ස්ථාන ලැබූ දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම, වෙසක් මුද්දරයක් සහ සමරු කලාපයක් නිකුත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක බව මෙහිදී අවධාරණය කෙරිණ.


1


මැයි මස 24 සහ 25 යන දිනවලදී ක්‍රියාත්මක මෙම ආගමික සත්කාරය පිළිබඳ සාකච්ඡාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමි, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයෙ‍් ආගමික කටයුතු සම්බන්ධීකාරක, පූජ්‍ය අග්‍රහැරේ කශ්‍යප හිමි, මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, පූජ්‍ය බුද්දම නන්දසාර හිමි, යුදගනාව පුරාණ රජමහා විහාර විහාරාධිකාරී, පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන් ද, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මැතිතුමා,  අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතීඥ අනුරාධ ජයරත්න මහතා, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, එම්.කේ.බී. දිසානායක මහතා, මහාභාරකාර සරත් සෙනෙවිරත්න මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, ආචාර්ය අයි.එච්.කේ.මහානාම මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. පතිනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

2013 අප්‍රේල් මස 09 දින.

No comments:

Post a Comment