Sunday, April 7, 2013

Monaragala Damma Schools Donation (PM Speech) Sinhala 2013.04.07

බුදුදහම සුරක්ෂිත කිරීමේ වැඩපිළීවෙල යටතේ පැවිදි ශාසනයට ඇතුළත් කර ගන්නා පිරිස ඉහළ නංවා බුද්ධ ශාසනය ශක්තිමත් කර ගැනීමේ වගකීමක් අපට පැවරෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා පවසයි.
මහා සංඝරත්නය නොමැති නම් බුදුදහම මේ දක්වා සුරක්ෂිත නොවන බවත්, මහා සංඝරත්නය නිරතුරුවම වැඩවසමින් දේශයේ බුදු දහම සුරක්ෂිත කිරීමට පියවර ගැනීම පිළිබදව අප උන්වහන්සේලාට කෘතවේදී විය යුතු යැයි ද අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව දිපව්‍යාප්තව දුෂ්කර දහම් පාසල් 2600ක් සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක දීප ව්‍යාප්ත වැඩසටහනේ මොනරාගල දිස්ත්‍රිකයේ දහම් පාසල් 334ක් සදහා රුපියල් මිලියන හතළිහක මූල්‍යමය ආධාර බෙදාදීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.
බුද්ධ ශාසන හා ආගම්ක කටයුතු අමාත්‍යංශයේ සම්බුද්ධත්ව ජයන්ති දීපව්‍යාප්ත වැඩසටහන යටතේ රුපියල් පනස් දහස බැගින් දහම් පාසල් 202ක්, සම්බුද්ධත්ව ජයන්ති අරමුදල යටතේ රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් දහම් පාසල් 74ක් සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ ප්‍රතිපාදන යටතේ රුපියල් පනස්දහස බැගින් දහම් පාසල් 58ක් සදහා මූල්‍යමය ආධාර චෙක් පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
දුෂ්කර දහම් පාසල් සදහා මූල්‍යමය ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඉකුත්දා (07) පස්වරුවේ මොනරාගල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා එහිදී ප්‍රධාන දේශනය පවත්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
දහම් පාසල් සංවර්ධනය කිරීමට දිවයින පුරා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ අද පැවැත්වෙන උත්සවය සදහා සහභාගීවිමට ලැබීම පිළිබදව මම සතුටට පත් වෙනවා. මේ ප්‍රෙද්ශයේ දේශපාලනික නායකයන් විහාරස්ථාන හා දුෂ්කර දහම් පාසල් සංවර්ධනය කිරීමට වැඩසටහන් රැසක් දියත් කර ඇති බව පේනවා.
අපට නායකත්වය දෙන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හදවතින්ම බෞද්ධයෙක්. එතුමා ඊට නිසි ගෞරවය ලබා දෙනවා. එතුමා මහා සංඝරත්නයේ අවවාද උපදෙස් ලබා ගෙන ඒ අනුව සිය දිවිපෙවෙත පවත්වා ගෙන යනවා.රට පාලනය කරනවා. මේ අවස්ථාවේදී ද අතිගරු ජනාධිපතිතුමා අනුරාධපුර මිහින්තලය සංවර්ධනය කිරීම පිළිබදව සාකච්ඡාවක නිරත වෙනවා.ඒ තුලින්ම පෙනෙන්නේ  බුදු දහම ආරක්ෂා කිරීමට එතුමා ගන්නා උත්සහයයි.
අද අප රැස්ව සිටින මේ ප්‍රෙද්ශය ලංකාවේ අති ශ්‍රේෂඨ උතුම් භුමියක්. කන්ද උඩරට යටත් කර ගැනීමට අධිරජ්‍යවාදීන පැමිණෙන විට මෙහි සිටි සිංහල වීරයන් සිය ලේ ශක්තියෙන් රට ආරක්ෂා කිරීමට ඉදිරිපත් වුණා. අධිරාජ්‍යවාදයෙන් යටත්වූ රට අපට යළි නිදහස් කර ගැනීමට හැකිවූයේ අපගේ ලේ ශක්තියෙනි. එහිදී මේ ඌව ප්‍රෙද්ශයේ ජනතාව ලබා දුන් දායකත්වය කිසිසේත්ම අමතක කිරීමට බැහැ. තව වසර කිහිපයකින් මේ ප්‍රෙද්ශය ලංකාවේ දියුණු ප්‍රෙද්ශයක් බවට පත්වෙනවා. මෙය මුළු ලෝකයම සම්බන්ධවන කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැලකිය හැකියි. මේ සදහා අතිගරු ජනාධිපතිතුමා දිරියෙන් ක්‍රියා කළත් එතුමාට මෙය තනිවම කරන්න බැහැ. ඒ සදහා ජනතාවගේ සහයෝගය ලැබිය යුතුයි.
අතිගරු ජනාධිපතිතුමාගේ දායකත්වයෙන් අද රටේ සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධනය වී තිබෙනවා. අයෙකුට ගමන් කිරීමට නොහැකි නම් හැරමිටියක් ලබාදී ඔහුට උපකාරයක් කළ හැකියි. රජයෙන් ලබා දෙන එම සහයෝගය හැරමිටියක් වගෙයි. පුද්ගලයා කළ යුත්තේ හැරමියේ ආධාරයෙන් නැගී සිට අඛණ්ඩව ගමන් කිරීමයි. වත්මන් රජය සමාජය යහ මගට ගෙන ඒම සදහා විශාල කාර්යයභාරයක් ඉටු කරනවා. ඒ දායකත්වය පුද්ගලයාට හැරමිටියක් ලබාදීම වගෙයි.
දහම් පාසල් වල දරු දැරියන් ලක්ෂ 18ක් පමණ ඉගෙනුම ලබනවා.  එමෙන්ම  තිස්අටදහසක් දරුවන් පාසල් වල ඉගෙනුම ලබනාවා. සාමාන්‍ය පෙළ සමත් වන්නේ ලක්ෂ 4ක් පමණ පිරිසකි. මේ අය උසස් පෙළ කර ඇතමුන් විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය ලබන අතර ඇතමුන් විවිධ වෘත්තීන්හි නියැලෙනවා. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට විවිධ අපරාධවලට යොමු වන බව දක්නට ලැබෙනවා.
විවිධ ජාතීන් අනුව බලන විට අප සමාජයේ විවිධ අපරාධ දූෂණ බහුලව සිදුවන බව දක්නය ලැබෙනවා. දුප්පත්කම මේ අපරාධ වලට හේතුය යැයි කීවත් ඒ කීම සාධාරණ නැහැ. තරුණ පාසල් වයසේ ළමුන් රැසක් සිරගතව ඉන්නවා මම බෝගම්බර නව බන්ධනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වීමේදී දුටුවා. ඒ අයගෙන් ඇහුවාම බහුතරයක් වැරදිවලට පෙළඹී සිටින්නේ දිළිදු කම නිසා නොවෙයි. මේ මානසික වශයෙන් සිදුවූ වෙනස් කමක්.
මේ අයුරිවන් වැරදි කරන පුද්ගලයන් නිසි මගට ගෙන ඒමට රජයට හැකියාවක් නැහැ. වරද කරුවකුට දඩුවම්දීම, ඔහු පුනරුත්තාපනය කිරීම රජයට කළ හැකි අතර ඔහු වරදට යොමුවීමට හේතුව නිසි පරිදි සොයා ගැනීමේ හැකියාවක් රජයට නැහැ. ඔහු වැරදි මාර්ගයට යොමුවීමට හේතුව නිවරැදි ලෙසම දන්නේ රජය නොව ඒ පුද්ගලයා ජීවත්වූ පරිසරයයි. ඒ නිසා මහා සංඝරත්නය එකතුව වරදට යොමු වන පුද්ගලයන් නිසි මගට යොමු කරවීමට හැකියාවක් තිබෙනවා.
අද විහාරස්ථානවල මහා සංඝරත්නයේ අඩුවක් දක්නට ලැබෙනවා. අප පන්සල්වල හාමුදුරුවරු නැහැ. විහාරස්ථාන 74ක කිසිදු හිමිනමක් වැඩ නොවසන බව දැනගන්නට තිබෙනවා. මේ නිසා වර්තමානයේ පැවිදි දිවියට ඇතුලත් කර ගන්නා පිරිස ඉහළ නැංවීමට අප රජය වැඩපිළිවෙලක් සකස් කළා. ඒ අනුව සාමනේර හිමිවරු හත්නමකට වඩා වැඩසිටින විහාරස්ථානවලට ආධාර ලබාදීමට මම තීරණය කළා.
මහා සංඝරත්නය නොමැති නම් රටක ආගමක් සුරක්ෂිත කර ගැනීමට හැකියාවක් නැහැ. තිලෝගුරු බුදුරජාණන් වහනසේ උපත ලැබූ භූමයේ පවා බුදු දහම සුරක්ෂිත නොවුනේ එහි මහා සංඝරත්නය නොමැතිවූ නිසයි. අපට අපගේ ආගම රැක ගැනීමට නම් මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. මහා සංඝරත්නය පෙරටුව ශ්‍රේෂඨ ජාතියක් වශයෙන් අපට ඉදිරියට යා හැකි යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය
 
කතරගම කිරිවෙහෙර රජ මහ විහාරාධිපති, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සොරත හිමියන් අදහස් දක්වමින් මෙසේ පැවසූහ.
දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ කාර්යයේදී විහාරාධිපතිහිමිවරුන්ට විශාල කාර්යයභාරයක් පැවරෙනවා. දහම් පාසල් සංවර්ධනය කිරීම සදහා රජයෙන් ලබා දෙන මුදල් ඒ වෙනුවෙන් නිසි පරිදි යෙදවුවහොත් පමණයි නිසි ප්‍රයෝජනයක් ලබා ගත හැක්කේ. මේ මුදල් විධීමත් පරිදි දහම් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීමට මේ අවස්ථාවට සහභාගීවන විහාරාධිපති හිමිවරුන් සහ ආචාර්ය මණ්ඩලය පියවර ගත යුතුයි.
මොනරාගල දිස්ත්‍රිකයේ දහම් පාසල් ලියාපදිංචි කිරීම සදහා ගෙන ගිය වැඩපිළීවෙල මීට වඩා ක්‍රියාකාරී විය යුතු යැයි මම සිතනවා. අප ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් පිළීබදව තිබෙන කෙටුම්පත පිළිබදවද මීට වඩා අවධානය යොමු විය යුතුයි. දහම් පාසල් පවත්වාගෙන යාමේදී විවිධ බලපෑම් අපට එල්ලවන්නේ අපගේ මේ නීති රීති පද්ධතියේ පවතින අඩු ලුහුඩුකම් නිසයි.
 
පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය සුමේධා ජී.ජයසේන මහත්මිය අදහස් දක්වමින්, අද මේ ප්‍රෙද්ශයේ දහම් අධ්‍යාපනය ලබන දරුවන් දුෂ්කරතා හා අසීරුතා රාශියක් මැද ඉගෙනුම ලබනවා. සංඝරත්නයද විවිධ බාධක මැද කටයුතු කරනවා. මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ස්වාමීන්වහන්සේ ප්‍රමඛ අප ප්‍රෙද්ශයේ සංඝරත්නය දහම් පාසල් හා වෙහෙර විහාරස්ථාන රැසක් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය වන්නේ දැහැමි සමාජයක් අප රටේ නිර්මාණය කිරීමටයි. ගරු අග්‍රාමාත්‍යතුමා ආගමික හා ශාසනික වශයෙන් දිවයින පුර කරන සේවය අපගේ ගෞරවයට ලක් වෙනවා. ඔබට ලැබෙන අධාර මුදල් කීයක් වුණත් ඉන් අපට කුමක් හෝ සංවර්ධනයක් ආරම්භ කළ හැකියි. රජය රට සංවර්ධනය කිරීම සදහා විශාල මුදලක් වියදම් කරනවා. එහිදි එක් ක්ෂේත්‍රයක් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම පහසු නැහැ. ඒ නිසා ලද පමණින් සතුටුවී ඔබ දහම් පාසල සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව මම මෙහිදී ඉල්ලා සිටිනවා.
වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුනි සොයිසා මැතිතුමා අදහස් දක්වමින්, අප මේ දේශපාලන දිවියේදී බොහෝ දේවල් කළා. නමුත් අප කළ යුතු කාර්යයභාරය අතිවිශාලයි. වැසිකිළි කැසිකිළි නොමැති දාන වේල නොමැති දුෂ්කර තත්ත්වයෙන් බුදු දහම රැකගෙන යන මහා සංඝරත්නය අප ප්‍රෙද්ශයේ සිටිනවා. ඒ වෙනුවෙන් දුක්වීම නොව අප කළ යුතු ඉදිරි කාර්යයන් පිළිබදව අවධානය යොමු කළ යුතුයි. ඒ වැඩපිළීවෙල යටතේ අද දුෂ්කර විහාරස්ථානවල දහම් පාසල් සංවර්ධනය කිරීම සදහා මේ අයුරින් මූල්‍ය ආධාර ලබාදීමට හැකිවීම අප ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.
කුඩා සාමනේර හිමිවරුන් කුඩා දරුවන් යැයි අප අමතක කළ යුතු නැහැ. අප එවැනි සාමනේර හිමිවරුන් වැඩසිටින පිරිවෙන් සංවර්ධනය කිරීමට පියවර ගත්තා. එවැනි තව කටයුතු රාශියක් ඉටු කිරීමට අප ඉදිරිපත් විය යුතුයි. ආදී වාසීන් පවා මේ ප්‍රෙද්ශයේ පැවිදි කිරීමට අප පියවර ගත්තා
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය, ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා අදහස් දක්වමින්,මේ අද දවස ඌව පළාතේ අඩු පහසුකම් වලින් සමන්විත දහම් පාසල් සංවර්ධන කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙලට ඌව පළාතේ ජනතාවගේ සුභ පැතුම් එක් කෙරෙනවා. මහා සංඝරත්නය දරුවන් නිසි මගට ගෙන ඒම සදහා විශාල කාර්යය භාරයක් ඉටු කරනවා. 2013 වර්ෂයේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව අපට මේ ප්‍රෙද්ශයේ සංවර්ධන කටයුතු රැසක් දියත් කිරීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබෙනවා.
පොල් සංවර්ධන හා ජනතා වතු යටතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මැතිතුමා අදහස් දක්වමින්,  අප රජයේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුම නිමිත්තෙන් මේ ආකාරයට මූල්‍ය ආධාර ලබාදීමට ගරු අග්‍රාමාත්‍යතුමා කටයුතු කිරීම පිළිබදව මම බෙහෙවින්ම සතුටට පත් වෙනවා. මෙවැනි වැඩසටහන් මගින් දුෂ්කර ප්‍රදේශවල දහම් පාසල් සදහා සැලකිය යුතු ස්ථානයක් සමාජයේ නිර්මාණය කර ගත හැකියි. මේ සදහා නිතරම ක්‍රියාකාරීව අපව දිරිගන්වන අතිගරු මහා සංඝරත්නයට මා මේ අවස්ථාවේදී කෘතවේදී වෙනවා.
වැලියාය සිරි පියරතන පිරිවෙන් විහාරාධිපති, ඌව වෙල්ලස්ස දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කන්දඋඩපංගුවේ සුදම්ම හිමිපාණන් වහන්සේ, මොනරාගල අතිරේක දිස්ත්‍රික්  ලේකම් සුනීතා එදිරිසූරිය මහත්මිය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන මහත්මිය,   ද මෙහිදී අදහස් දැක්වූහ. මොනරාගල දිස්ත්‍රිකයේ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන්වහන්සේ,  දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.
----------------------------------------------------------------------------------------------------
ඡායාරූපය - මොනරාගල දිස්ත්‍රිකයේ දුෂ්කර විහාරස්ථානවලට මූල්‍ය ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා විසින් විහාරස්ථාන විහාරාධිපති හිමිනමකට චෙක් පත ප්‍රදානය කළ අවස්ථාව.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය සුමේධා ජී ජයසේන, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මියද ඒ අසල සිටියි.
 
2014.04.07
 

No comments:

Post a Comment