Thursday, June 6, 2013

PM Meet China Vice Premier H.E. Ma Kai. Sinhala News 2013.06.07



ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීභාවයට හා ජනතාවගේ ස්වාධිපත්‍යයට හානිවන කිසිදු ක්‍රියාමාර්ගයකට චීනයේ සහාය පළ නොවන බව මහජන චීන සමූහාණ්ඩුවේ උප අග්‍රාමාත්‍ය, මා කායි මහතා  (Mr. Ma Kai – Vice Premier) පවසයි.  
චීනය, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිතුරෙකි. එමෙන්ම, තමන් ශ්‍රී ලංකාවේ කුළුපඟුබව කිසිදු ලෙසකින් අමතක නොකරන බව ද ඔහු කියා සිටී.
චීන උප අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (06) ‍පස්වරු‍වේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවූ අවස්ථාවේ දීය.  හමුව, චීනයේ යූනාන් ප්‍රාන්තයේ කුන්මිංග් (Kunming) නගරයේ Haigeng Garden Hotel හිදී පැවැත්විණ.
චීනයේ ස්වාධිපත්‍යයට හානිවන කිසිදු අවස්ථාවක, ශ්‍රී ලංකාවේ සහාය නොලැබිණි.  ටිබෙට්, තායිවාන හා දකුණු දිග චීන දූපත පිළිබඳ ගැටළුවේදී ශ්‍රී ලංකාව සෘජු ප්‍රතිපත්තියක සිට චීනයට සහාය පළ කළ බව කී චීන උප අග්‍රාමාත්‍යතුමා, එක්සත් හා නොබිදුණු චීනයක් ගොඩනැගීම සඳහා සහාය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සිය ස්තුතිය පළ කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ගෙන යෑමට උදව් කරන බවද, ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ගිවිසුම් රැසක් ශ්‍රී ලංකාව හා චීනය අත්සන් තබා ඇති බවත් කීය.  තවදුරටත් අවශ්‍ය පරිදි දෙරටේ අභිමතය පරිදි සහයෝගීතා ගිවිසුම් සකස් කෙරේ. ශ්‍රී ලංකාවේ අමුද්‍රව්‍ය නිෂ්පාදන මාදිලියකට ගෙන ඒම සඳහා අවශ්‍ය ශක්‍යතා මාර්ග ලබා ගන්නා බව කී චීන උප අග්‍රාමාත්‍යවරයා, සෘජු සහයෝගීතාව යනු දෙරටේ අනාගතය ගොඩනැංවීමක් බවද සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන මූලෝපායන් සම්බන්ධයෙන් චීනය දැඩි අවධානයක සිටින බවත් ඔහු පැවසීය.  පසුගිය වසර 15 ක සිට ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය නව මාවතකට යොමුව තිබේ.  ශ්‍රී ලංකා මුඛ්‍ය සංවර්ධන සැලැස්ම චීනයේ ඇගයීමට ලක්ව තිබේ.  ආසියානු මහාද්වීපයේ දකුණු දිග කලාපයේ පිහිටි ශ්‍රී ලංකාව, චීනයේ සදාකාලික මිතුරෙක් බවද උප අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

 ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මෙහිදී කියා සිටියේ, චීනය 4 වන සියවසේ සිට, පාහියන් භික්ෂුව මෙරටින් ශ්‍රී ලංකාවට ආදා සිට මිත්‍රත්වය තහවුරු වූ බවයි.  එහි පාලම බුදු දහමයි.  එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක යන රාජ්‍ය නායකයින් චීන‍ය සමග සමීපව කටයුතු කළ බව කී අග්‍රාමාත්‍යතුමා, ශ්‍රී ලංකාවේ යෝධ සංවර්ධන වැඩපිළිවෙළට චීනයේ සහාය අත්‍යාවශ්‍ය බව සඳහන් කළේය.  මිලියන 10ක සංචාරකයින්ගේ ආගමනයක් බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවට චීන ජාතිකයන්ගේ සංචාරය ද වැදගත් වේ.  ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, චීනය සමග ගිවිසුම් 15කට වැඩි ප්‍රමාණයක් අත්සන් තබා තිබේ. එක්ස්ෆෝ 2013 වෙළඳ ප්‍රදර්ශනය දකුණු ආසියාවේ රටවලට ආශිර්වාදයකි. එය තුන්වන ලෝකයේ රටවලට චීනය දක්වන සහයෝගීතාවයේ හස්තයයි.  චීනය ලොව දියුණුම රට බවට පත්වීමට ආසන්න කාලයක් ඇති බව සඳහන් ක‍ළ චීන උප අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ වෙළඳපොල උපාය මාර්ගවලට ද එය ශක්තියක් බව සඳහන් කළේය. 
චීන භාෂාව හැදෑරීමට ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෝ කැමති වූහ.  එපමණක් නොව, චීන උසස් අධ්‍යාපන ආයතනවල ශ්‍රී ලංකා ශිෂ්‍යයෝ ඉගෙනුම ලබති.  ශ්‍රී ලංකාව ද චීන භාෂාව, විශ්ව විද්‍යාල 03ක ඉගැන්වීම් කරන බව කී අග්‍රාමාත්‍යතුමා, එය සංචාරක ව්‍යාපාරයට ද ඉවහල් වන බව සඳහන් කළේය.  පසුගිය වර්ෂයේ ලංකාව හා චීනයේ කුන්මිංග් ප්‍රාන්ත‍ය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරිණ.  කෙටි කාලයකින්, වෙහෙස නොවී ගමනාන්තයක් කරා පිවිසීමට ඉන් හැකියාව ලැබේ. 

තිස් වසරක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව සංග්‍රාමික තලයකට අවතීර්ණ වී ඇත.  එහි නියමුවා වත්මන් ජනාධිපති, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමා, චීන උප අග්‍රාමාත්‍යතුමා, ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ද ආරාධනා කළේය.
2013 ජූනි මස 07 වන දින.

No comments:

Post a Comment