Thursday, June 6, 2013

Opening the 21st China Kunming Internatio​nal Exhibition today. With PM Speech (Sinhala) 2013.06.06



චීනයේ 21 වන කුන්මිංග් ආනයන අපනයන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය අද (06) පෙරවරු‍වේ කුන්මිංග් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී විවෘත කෙරිණ.   
චීන සමූහාණ්ඩුවේ උප අග්‍රාමාත්‍ය, H. E. Makai Mathai මැතිතුමා, මලාවි රාජ්‍යයේ ජනාධිපති, H.E. Joyce Banda මැතිනිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත විය.  එම ප්‍රදර්ශනයට සමගාමීව දකුණු ආසියානු Expo ප්‍රදර්ශනය ද විවෘත කෙරිණ.  
දකුණු ආසියාව, අග්නිදිග ආසියාව ඇතුළු රටවල් 49 ක සහභාගිත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය කාර්මික, කෘෂිකාර්මික, තොරතුරු තාක්ෂණ, ඇගළුම්, සංචාරක, වෙළඳ ආදී ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි පැවැත්වේ. ආයෝජකයන් පන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙය මෙම මස 10 වන දින දක්වා පැවැත්වේ.  
ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමේ නිරත විය.  
නේපාලයේ උප ජනාධිපති,H.E. Parama Nanda Jha මැතිතුමා, ලාඕසයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, H.E. Somsavat Lenghavat  මැතිතුමා, වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, H. E. Van Ninh මැතිතුමා, තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය, H.E. Somchai Vonghvat මැතිතුමා, මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය, ආචාර්ය H.E. Mathir Mohomed මැතිතුමා ඇතුළු චින සමූහාණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ප්‍රදර්ශනය නියෝජනය කරමින් පැමිණි වෙනත් රටවල රාජ්‍ය නියෝජිතයන් ද සහභාගි විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම්, එස්. අමරසේකර මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන මහතා, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
v ඡායාරූප වලින් දැක්වෙන්නේ,
1.     අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා,
කුන්මිංග් ආනයන අපනයන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වෙළඳ කුටියක් නිරීක්ෂණය කරන ආකාරය.
2.     කුන්මිංග් ආනයන අපනයන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා, කුන්මිංග් ජාත්‍යන්තර ‍ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ප්‍රධාන දේශනය පැවැත්වූ අයුරු. 
(ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය විවෘත කළ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා එහිදී කළ කථාව මේ සමග අමුණා ඇත.) 
2013 ජූනි මස 06 දින.
 
21 වන චීන කුන්මිං ආනයන හා අපනයන භාණ්ඩ ප්‍රදර්ශනය 2013 සමාරම්භක අවස්ථාව නිමිත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය
ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා විසින් පවත්වන ලද දේශනය
 
සම්භාවනීය අමුත්තනි,
නෝනාවරුනි මහත්වරුනි,
 
පළමුවන චීන - දකුණු ආසියා ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරෙන 21 වන චීන කුන්මිං ආනයන හා අපනයන භාණ්ඩ ප්‍රදර්ශනය 2013 සමාරම්භක කෙරෙන අද දින මෙම වැදගත් අවස්ථාවට ඔබ සමඟ එක් වීමට ලැබීම මට මහත් සතුට දනවන කරුණකි. මා හට නැවත වරක් මෙම අලංකාර ඓතිහාසික කුන්මිං නගරය නැරඹීමට කළ නොමසුරු ආරාධනාව සම්බන්ධයෙනුත් අප වෙත ලබා දුන් ආකර්ශනීය ආගන්තුක සත්කාර සම්බන්ධයෙනුත් යුනාන් පලාතේ ආණ්ඩුකාරවරයා සහ සංවිධායක කමිටුව වෙත පළමුවෙන්ම මාගේ ස්තූතිය පුද කර සිටින්නෙමි. 14වන වරටත් අඛණ්ඩව මෙම කාර්යය සාර්ථකව සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙහි සංවිධාකයවරුන්ට මාගේ හදපිරි සුභපැතුම් පිරිනමමි.
ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණි පැරණිතම ප්‍රකට දේශාටකයා වූයේ 5වන සියවසේ චීනයේ ෂැංක්ෂි සිට පැමිණි පාහියන් නම් බෞද්ධ භික්ෂුව වේ. ශ්‍රී ලංකාව පැවතියේ ඓතිහාසික වශයෙන් වැදගත් සේද මාවත නමින් හඳුන්වන චීනය සහ මධ්‍යධරණී ප්‍රදේශය සම්බන්ධ කරන ජාත්‍යන්තර නාවුක මාර්ගයේ වන අතර එය අපගේ රටවල් දෙක අතර පැවති පුරාණ වෙළඳ සම්බන්ධතාවලට මනා සාක්ෂියකි. ශ්‍රී ලංකාව චීනයේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට සහයෝගය දක්වන පළමු රටවල්වලින් එකකි. ශ්‍රී ලංකාව චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කිරීමට පවා ප්‍රථම 1952දී දෙරට අතර අත්සන් කෙරුණු ඓතිහාසික රබර්-සහල් ගිවිසුම මඟින් වත්මන් සම්බන්ධතා වේගවත් විය. දෙරට අතර අත්සන් කෙරුණු රබර් -සහල් ගිවිසු මඟින් දෙරටේම ජනතාවට මහත් ප්‍රතිඵල අත්පත් කර දුන් අතර, දෙරට අතර විධිමත්ව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා 1957දී ආරම්භ කෙරිණි. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ චීනය වෙත පැමිණි අවස්ථාවේදී චීනයේ මහා නායකයා වන මාඕ සේතුං හමු වීමේ අවස්ථාව මට උදා විය. ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී පැවති එක්සත් ජාතීන්ගේ යෝජනාවේදී සැබෑ මිත්‍රත්වයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මා නැවත වරක් අපගේ කෘතවේදීත්වය චීනය වෙත පිරිනැමීමට මම කැමැත්තෙමි.
ආසියාව අසාමාන්‍ය වේගයකින් සංවර්ධනය කරා ගමන් කරන බැවින්, ලෝක ධනය බෙදීයාම තුළ විශාල පරිවර්තනයක් සිදු වෙමින් පවතී. මේ වන විට ආසියා පැසිපික් කලාපයේ ආර්ථික ක්‍රියාකාරීත්වය තුළ වැදගත් පරිවර්තනයක මධ්‍යයේ අප සිටින බවට සැකයක් නැත. මෙම වෙනසේ සුවිශාල දායකත්යක් දරනු ලබන්නේ චීනයයි. මෙම ප්‍රවණතාව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.
චීනයේ සුවිශේෂී ආර්ථික වර්ධනය එහි ජනතාවට සුවිශාල ප්‍රතිලාභ අත්පත් කර දී තිබේ; එසේම එය සංවර්ධනය වන රටවලට ඉමහත් ප්‍රබෝධයක් ඇති කර තිබේ.
මෙම වෙළඳ ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියාවේ රටවල් අතර වෙළඳාම, ආයෝජනය සහ ආර්ථික සහයෝගීත්වය තීව්‍ර කිරීම සහ ශක්තිමත් කිරීම පිණිස විශිෂ්ට අවස්ථාවක් සලසා දෙනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි.
චීනය සහ කලාපයේ ඉතිරි රටවල් අතර වෙළඳ සහ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් පුළුල් ව්‍යාප්තියක් සහ ප්‍රවර්ධනයක් සඳහා විශාල ඉඩප්‍රස්ථා පවතින බව පෙනේ.
ආසියානු සංවර්ධන බැංකුවේ පුරෝකථන අනුව, වසර 2050 වන විට, ලෝක නිෂ්පාදනයේ ආසියානු දායකත්වය 53%ක් කරා ළඟා වීමේ හැකියාවක් තිබේ. මෙම නිමානයන් අතිශයින්ම වැදගත් ඒවා වේ. කලාපය තුළ තිරසාර ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීමට දකුණු ආසියාතික කලාපයේ රටවල් සමඟ සමීප සුහදත්වයක් ඇති කර ගැනීමට චීනය කටයුතු කර තිබීම අප දිරිගන්වන සුළුය.
සාර්ක් ක්‍රියාවලිය හේතුවෙන්, විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුළ, වැදගත් ප්‍රතිසංස්කරණයන් සිදුව ඇති බව ප්‍රකට කරුණක් වන අතර එය කලාපයේ  වෘද්ධි අනුපාත ඉහළ යාමටත් දරිද්‍රතා මට්ටම අඩු වීමටත් මෙය හේතු වී තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් සහිතව සහ දශක තුනක් පුරා රට තුළ පැවති යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව ඉහළ වර්ධන අපේක්ෂා සහිතව ආර්ථික සංවර්ධනය කරා ළඟා වෙමින් සිටී.  ශ්‍රී ලංකාවේ ස්ථිරසාර ඉහළ වෘද්ධිය එය ලෝකයේ මධ්‍ය ආදායම් ලබන රටවල්වලින් එකක් බවට පත් කර තිබේ. දශක ගණනාවක් පුරා ප්‍රජාතාන්ත්‍රවාදී පාලනයක ප්‍රතිලාභ ලබමින් තුළ, ශ්‍රී ලංකාවේ ජනතාව වේගවත් සහ යථාර්ථවාදී ආර්ථික ප්‍රගතියක් අපේක්ෂා කරමින් සිටී.
මෙම අවස්ථාවේදී, මෙරට සංවර්ධනය වෙනුවෙන් චීන රජය ලබා දුන් වටිනා සහයෝගය කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කිරීමට මම කැමැත්තෙමි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ආරම්භ කළ බොහෝ යෝධ සංවර්ධන ව්‍යාපෘති සඳහා චීන රජය ආධාර ලබා දී තිබේ.
මෙය කලාපයේ වෙළඳ සංවර්ධනය සඳහා වන අවස්ථා උදා කර ගැනීම සඳහා වැදගත් වන තොරතුරු, අරමුණු සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සඳහා වන ස්ථානයකි. මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වයද වාර්ෂිකව වර්ධනය වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ  වෙළඳ හා ආයෝජන අවස්ථාවන්හි වැඩිදියුණුවේ ඇඟවීමක් බවටත් මා සඳහන් කරන්නේ ආඩම්බරයෙනි.
පසුගිය වසර ගණනාව තුළ ආසියාව ප්‍රදර්ශනය කළ ප්‍රතිඵල බෙහෙවින් සිත්ගන්නාසුළුය. ආසියාව දැන් මෙම ගමන් මාර්ගය තුළ තිරසාර ආකාරයෙන් අඛණ්ඩව ඉදිරියට ගමන් කළ යුතුය.
සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, “අන්තර් සම්බන්ධතාවය, සුහදතාවය සහ ජය-ජය ලෙසට වන මෙම වසරේ තේමා පාඨය සාර්ථක කරගනු වස් එකට එක්ව කටයුතු කිරිමේ කාලය දැන් එළඹ තිබේ.
මෙම කාර්යය සෑම ආකාරයකින්ම සාර්ථක වේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
ඔබට සියලු දෙනාට තෙරුවන් සරණයි! ස්තූතියි.
 
 
 
 
 
 
 
 
 

No comments:

Post a Comment